(UPDATE) චීනයේ, නිරිතදිග පිහිටි යුනාන් පළාතට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 381 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එමෙන්ම, භූකම්පනය හේතුවෙන් තවත් 2,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ජීවිත හානි මීට වඩා වැඩිවීමේ ඉඩකඩ පවතින බවත් එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් චීන රජය 2,500ක හමුදා බළෑණියක් යුනාන් පළාත වෙත යවා තිබේ.
එරට වේලාවෙන් ඊයේ (03දා) පස්වරු 4.30ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.1 ක අගයක් පෙන්වා ඇති බවත්, යුනාන් පළාතේ කිලොමීටර් 11 ක් පොළව ගැඹුරේ මෙම කම්පනය හට ගෙන තිබෙන බවත්, ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
දැනට සෝදිසි මෙහෙයුම්වල නිරත වන හමුදාව අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් අරඹා ඇති අතර, චීන ජනපති ෂි ජින්පින්ග් පවසා ඇත්තේ අතුරුදන්ව සිටින පුද්ගලයන් බේරාගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දැරීමට හමුදාව සූදානමින් සිටින බවයි.
හමුදාවට අමතරව, පොලීසියේ හා ගිනිනිවන හමුදාවේ 300ක් සහ හදිසි සහන සේවා සාමාජිකයන් 400ක්ද මුදාගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධව සිටියි. එමෙන්ම, විශේෂ සුනඛයන්ද විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට යොදවා ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම භූ කම්පනය හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති අතර වසර 14කට පසුව යුනාන් පළාතට බලපෑ දරුණුතම භූමිකම්පාව ලෙසද මෙය සැලකෙයි.