චීනයේ හුබෙයි ප්‍රාන්තයේ, යැන්ග්ට්සේ ගංගාව තරණය කරමින් තිබූ පුද්ගලයන් 450ක් රැගත් නෞකාවක් පෙරලීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් අතුරුදන්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ගංගාවේ පළල්ම ස්ථානයකදී මෙම නෞකාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී ඇති අතර, චීන මාධ්‍ය පවසන්නේ යාත්‍රාව ආසන්නයට ගිය කිමිදුම්කරුවන්ට එහි සිරවී සිටින පුද්ගලයන් නෞකා බඳට පහරදෙන හඬ ඇසුණු බවයි.
කෙසේ වෙතත් නෞකාව පෙරලීමට පෙර උදව් ඉල්ලා කිසිදු සංඥාවක් නිකුත් කර නොමැති බවද බලධාරීන් පවසයි.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ගංගාව තරණය කර පිහිනා පැමිණි පිරිසක් ගොඩබිම සිටියවුන්ගෙන් උදව් ඉල්ලා සිටීමෙන් පසුව ඒ වෙත මුදාගැනීමේ කණ්ඩායම් යවා ඇති බවයි.