චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (16දා) උදෑසන ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරටට පැමිණෙන චීන නායකයා ගුවන් තොටුපළේදී පිළිගැනීමෙන් පසු තවත් පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලය අබියසදීද පැවැත්වෙයි.
අනතුරුව, චීන සහ ශ්රී ලංකා ජනාධිපතිවරු අතර සාකච්ඡා පැවැත්වීමෙන් පසු, රාජ්ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙකක්ද පැවැත්වීමට නියමිත අතර, මේ සාකච්ඡාවලින් පසුව දෙරටටම වැදගත් වන ගිවිසුම් කිහිපයකට අස්සන් කිරීමද සිදුකෙරෙන බව වාර්තා වෙයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන චීන නායකයා හෙට (16දා) සවස ලක්විජය (නොරොච්චෝලේ) විදුලි බලාගාරයේ දෙවැනි අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට නියමිත අතර, 17 වැනිදා කොළඹ වරාය නගරය හඳුන්වාදීමේ අවස්ථාවටත් සහභාගි වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර චීන-ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හඳුන්වාදීමද දෙරටේ රාජ්ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවන තවත් සුවිශේෂී සිදුවීමකි. ෂී ජින්පින් මහතා සිය නිල සංචාරය නිමකර 17 වැනිදා ශ්රී ලංකාවෙන් පිටත්ව යයි.