තමා ගැන ඔත්තු බලන්නේ යැයිද, තම ආරක්ෂාව ගැන සැක මතු වන්නේ යැයිද යනුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම චෝදනා සියල්ල හේතු රහිත, සාධක රහිත වැල්වටාරම් සමුහයක් බව පෙන්වා දී තිබේ.
"ඔබතුමියගේ දූරකතන, ඊ - තැපෑල් පිළිබඳව හෝ ඔබතුමියගේ හොරගොල්ලේ සහ කොළඹ නිවාස පිළිබඳ කිසිදු ඔත්තු බැලීමක් නොමැති බවට සහතික විය හැකියි" යැයි ජනාධිපතිතුමා සහතික කර තිබේ.
නීතිවිරෝධී ඔත්තු බැලීම් මගින් තමාව හිංසා පිඩනයට පත් කර ඇතැයි චෝදනා රැසක් එල්ල කරමින් කුමාරණතුංග මහත්මිය එවූ ලිපියට පිළිතුරක් යැවු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එතුමියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හෝ නිදහසට බාධා කිරීම් කිසිවක් සිදු වී නැති බව සඳහන් කළේය. තමා යන ස්ථාන පිළිබඳවත් හමුවන පුද්ගලයින් පිළිබඳවත් රජයේ ආයතන ඔත්තු බලන්නේ යැයි හිටපු ජනාධිපතිනිය පවසා ඇති නමුත් ඒ සඳහා එකදු සාධකයක් එතුමිය ඉදිරිපත් කර නැති බව ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේ යැයි වීරතුංග මහතාගේ ලිපියේ සඳහන් වේ.
රජයේ සහ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට කුමාරණතුංග මහත්මිය සමඟ සබඳතා නොපවත්වන ලෙස ජනාධිපතිතුමා දන්වා ඇතැයි යන චෝදනාව එම ලිපියෙන් ප්‍රතික්ෂේප කර ඇත. එම චෝදනා ඔප්පු කිරීමට එකදු පුද්ගලයකුගේ හෝ නමක් ඉදිරිපත් කළේ නම් ඒ ගැන සොයා බැලිය හැකිව තිබුනේ යැයි ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වෙයි.
"සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳව ඔබතුමිය කළ සඳහනට වඩාත් මවිතයට පත්වූ බවත්, එවැනි සංස්කෘතියක් ඔබේ ජනාධිපති ධුර කාලයට පෙර ඉස්මතුව ඔබේ සමස්ත ධුර කාලය පුරාම ඔබ හොඳින් දැන සිටිය යුතු යැයි " ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
"හිටපු ජනාධිපතිනිය වශයෙන් ඔබතුමියට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට නිලධාරීන් පත්කර ඇති බවත්, ඔබතුමිය යන ස්ථානවලදි අවශ්‍ය ආරක්ෂාව සැලසීම පොලීස්යේ රාජකාරිය බවත් ජනාධිපතිවරයා එම ලිපියෙන් පෙන්වා දී තිබේ. මෙය මේ රටේ හා විදේශයන්හි ස්ථාපිත ආරක්ෂක ක්‍රමවේදය බවයි" යනුවෙන්ද එහි දැක්වෙයි.
"කෙසේ වෙතත් ඔබතුමිය හෝ ඔබතුමියගේ සගයින් සම්බන්ධයෙන් මෙම ක්‍රියාපිළිවෙත ගැන වෙනත් ආකල්පයකින් බලා එය සිතා මතා ඔත්තු බැලීම යැයි ඔබතුමිය කරන හැඳින්වීම ඥානාන්විත නොවේ" යැයි ජනාධිපතිවරයා මෙහිදී අදහස් කර ඇත.
තවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, "අවසාන වශයෙන් ඔබතුමිය වැල්වටාරම් රැසක් සහිත ලිපියක් එවා ඇත්තේ ජිනීවා නුවරත්, වෙනත් බටහිර රටවලත් ජාත්‍යන්තර බලවේගයන් ශී‍්‍ර ලංකාවට එරෙහිව මුළුමනින් අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවේදීම යැයි" යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙමිනි.