හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලයේදී සිදුකළ බව කියැවෙන ඝාතන සහ මූල්‍ය වංචාවන් පිළිබඳව,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ පැමිණිල්ල අද (19දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීමට පෙර ඒ පිළිබඳව සහ විභාග කරන ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා දැනුවත් කිරීම සාමාන්යක්රමය බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම ක්‍රමවේදය අනුව අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුත්ත සිදුකර අදාළ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් පෙරේදා (17දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මර්වින් සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ මාධ්‍ය‘වේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රාගම ලොකු සීයා නමින් හඳුන්වන කපු මහතා ඇතුළු ඝාතන රැසකටම ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් වගකිව යුතු බවයි.
මීට අමතරව රට තුළ සුදු වෑන් සංස්කෘතියක් ඇති කරමින් මහාභාණ්ඩාගාරයෙන් මුදල් අනිසි ලෙස පරිහරණය කළ බවද හෙතෙම පවසා සිටියේය. ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 600 ක් මංකොල්ල කාගෙන තිබෙන බවත්, ඔහුට විදේශ රටක මහාපරිමාණහෝටලයකුත්, ලංකාව තුළ හෝටලයක් ඇතුළු දේපළ රාශියක් තිබෙන බවත් සඳහන් කළේය.