ඇමෙරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයන් සිවු දෙනාම මියගියත්, වයස අවුරුදු 7ක දැරියක නිරුපද්‍රිතව බේරී ඇති බව වාර්තා වෙයි.
යානයේ කඩා වැටී අනතුරට පත්වීමෙන් පසු එම දැරිය කෙන්ටකි ප්‍රාන්තයේ නිවසක් වෙත ඇවිද ගොස් සිද්ධිය පවසා ඇති බවත්, පසුව පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී යානයේ සිටි නියමුවා සහ සෙසු මගීන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ගුවන්යානය විනාශ වී තිබියදී හමුවී ඇති බවත් පැවසෙයි.
දැරිය වහාම රෝහල්ගත කළත් ඇයට සුළු තුවාලයක් හැර ජීවිතයට තර්ජනයක් වන තුවාලයක් නොවීම ආශ්චර්යයක් බව සිද්ධිය වාර්තා කරන විදෙස් වාර්තා පවසයි.
ඒ.පී. පුවත්සේවය පෙන්වා දෙන්නේ එරට ෆෙඩරල් ගුවල් පාලක ඒකකයට අනුව ගුවන් පාලකයන් යානය රේඩාර් තිරයෙන් මැකී ගිය බව දැන්වූ බවයි. පී.ඒ.-34 මාදිලියේ සැහැල්ලු ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් පවතින බව නියමුවා අවසන්වරට පැවසීමෙන් පසු යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව ඇත.