(UPDATE) ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේය. පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය. එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත මහතාගේ නමත්, පොදු ජන පෙරමුණේ ප්රියන්ත සහබන්දු මහතාගේ නමත් එලෙස යෝජනා වූ අතර පළාත් පාලන කොමසාරිස් රනිල් වික්රමසේකර මහතා එහිදී ඔවුන් දෙදෙනාගේ කැමැත්ත විමසා සිටියේය.
දෙදෙනාම නගරාධිපති ධුරයට පත්වීමට කැමැත්ත ප්රකාශ කළෙන් ඡන්දයක් පවත්වා නගරාධිපතිවරයා තෝරාගැනීමට තීරණය කෙරිණි. මේ අවස්ථාවේදී පොදුජන පෙරමුණේ සහබන්දු මහතා රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර,එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති ධුර අපේක්ෂක ජිලිත් නිශාන්ත මහතා විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළේය.
ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතු බවයි.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය පැවැත්වෙන්නේ කවර ආකාරයෙන්ද යන්න තීරණය කිරීම සඳහාද ඡන්දයක් පැවැත්වෙනු ඇත.