රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් තමා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පළ කර ඇති ප්රවෘත්ති අසත්‍ය බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳන් කරයි. එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක් බවත් මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් තමාට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.
තමන්ට එල්ල වූ අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පවසන අමාත්‍යවරයා මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්යායපත්ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බවත් පවසයි.