ග්රීසියේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන තෙසලෝනිකී නගරාධිපතිවරයා ජනතා ගුටි ප්රහාරයකින් පසුව රෝහල්ගත කර ප්රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසයි.
75 වැනි වියෙහි පසුවන යිආනිස් බවුඇරිස් නමැති නගරාධිපතිවරයා නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී එරට ජාතිකත්ව මත දරණ කණ්ඩායම් විසින් නගරාධිපතිවරයාට බිම දමාගෙන පහරදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නගරාධිපතිවරයා ග්රීසියේ ජාතිකත්ව මත දරණ කණ්ඩායම්වලට එරෙහිව අදහස් ප්රකාශ කරන්නෙකු ලෙස ප්රකටය.
පළමු වැනි ලෝක යුද්ධයේදී තුර්කීන් විසින් මරා දැමුණු වාර්ගික ග්රීක වැසියන් සිහි කැඳවීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී නගරධිපතිවරයා මෙම දරුණු ප්රහාරයට ලක්ව තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වීමෙන් වළකින ලෙස පවසමින් නගරාධිපතිවරයාට මෙම පිරිස් විසින් පහරදී ඇති බවත්, ඇතැම් අය අත්පාවලින් ඔහුට පහරදෙන විට තවත් අය තමා අත වූ ජල බෝතල් නගරාධිපතිවරයා වෙත දමා ගසමින් පහරදී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
නගරාධිපතිවරයාගේ සහායකයන් සහ ආරක්ෂකයන් මෙම පිරිසෙන් නගරාධිපතිවරයා මුදවාගෙන ක්ෂණිකව ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින නගරාධිපතිවරයා පවසා ඇත්තේ 'එය නපුරු සිහිනයක් වැනි අවස්ථාවක්' බවය.
පුද්ගලයන් කිහිප දෙනෙකුම තමන්ට පහරදුන් බවත්, ඔවුන් ඉවක් බවක් නොමැතිව සෑම තැනකටම පහරදුන් බවත් නගරාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය ග්රීක දේශපාලඥයන් විසින් හෙළා දැක තිබේ.