"දින 100 ආණ්ඩුවෙ ඇමතිකම් ගත්ත ශ්රී.ල.නි.ප. ගන්ධබ්බයන්ට කට අරින්න වෙන්නේ කන්න විතරයි කියලා කියපු ටී.බී.ටත් එ.ජා.ප.යට විරුද්ධව කට අරින්න වෙන්නෙ නෑ. එයාටත් කට අරින්න වෙන්නෙ කන්න හරි ඈනුමක් අරින්න විතරමයි. මෙයාලා ඉතින් මෙතෙක් පාර්ලිමේන්තු ගියත් කට ඇරියෙ ඔය දෙකට විතරම තමයි" යැයි වයඹ පළාත් සභා ජවිපෙ මන්ත්රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ පසුගියදා අඹන්පොළ ප්රදේශයේදී පැවති ජනහමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
"ධාතු කරඬුව වගේ යාපහුව රජමහ විහාරස්ථානයෙන් පටන් අරගෙන මේ අය මහින්ද රාජපක්ෂව කරේ තියාගෙන ගියා. මහින්දට නවතින්න ගෙයක් දුන්නා. මහින්දට උදේට, දවල්ට, රෑට කන්න දෙන්නෙ මම කිය කියා ගමින් ගමට ගිහින් මහින්දගේ කර මතින් පාර්ලිමේන්තුවට ගියා. අවසානෙ පැදුරටත් නොකියම මහින්දව තනිකරලා යූ.එන්.පී හවුල් ආණ්ඩුවට එකතු වුණා. මේ අය කතාකරන්නේ කටින්ද වෙන තැනකින්ද කියලා අපට සැකයි.
මෛත්රීපාල දේවදත්ත විදියටත් මහින්ද බුදුන් විදියටත් සලකපු කණ්ඩායමට නායකත්වය දුන්නේ ටී.බී.ලා. අවසාන පාර්ලිමේන්තු මැතිවරණය අවසාන වෙලා සතිය ගතවෙනකොට මේ අයට මහින්ද දෙව්දත් ලෙසටත් මෛත්රීපාල බුදුන් විදියටත් පෙනුණා. මහින්දව, පාක්ෂිකයෝ මේ හැමෝම අමතක කරලා ඇමතිකමක් වෙනුවෙන් මෛත්රීපාල මහත්තයා ළඟට ගිහින් දණ ගැහුවා. වරදාන, වරප්රසාද වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන්න පුළුවන් මේ හොර නඩය ඇමතිකම් ගන්නෙ රටටවත් ජනතාවටවත් තියෙන ආදරයට නොවෙයි. ඊළඟ ඡන්දෙදි මේ පාවාදෙන්නන්ට ජනතාව නිසි පාඩම් උගන්නාව" යැයි පැවසීය.
අඹන්පොල - අවිශ්ක නිම්සර