ගංගා ආශ්‍රිතව සිදුකරන වැලි ජාවාරම නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් වැලි නිෂ්පාදනය කිරීමට හා ආදේශක ලෙස මුහුදු වැලි හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
මුහුදු වැලි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කළ හැකි බවට මොරටුව විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලින් හා තම ආයතනය සිදුකළ පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන බවද එම කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව ලෝකයේ ඇතැම් රටවල් කළුගල් වලින් වැලි නිෂ්පාදනය කිරීම සිදුකරන බැවින් ලංකාවේද කළුගල් සහිත ප්‍ර‘දේශයන් තෝරාගෙන වැලි නිෂ්පාදනය කිරීම සඳහා අවධානය යොමු වී තිබෙන බවද පවසා සිටියේය. වැලි නිෂ්පාදනය කිරීමට හා මුහුදු වැලි සකස් කිරීමට පිටරටින් ගෙන්වන උපකරණ සඳහා ඉදිරි අයවැය බදු සහන ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.
විදේශ රටවලින් වැලි ආනයනය කිරීම පිළිබඳවත් යෝජනා පැමිණ තිබෙන නමුත් විදේශ රටවලින් මෙරටට වැලි ගෙනඒමේදී වැලි සමග මිශ්‍ර වී අහිතකර බීජ වර්ග, පැළ වර්ග හා කුඩා කෘමීන් හා සතුන් පැමිණිය හැකි බැවින්ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවද පවසා සිටියේය.
පරිසර හානිය අවම කරගනිමින් වැලි, කළුගල්, පස්, බොරලු සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට කටයුතු කරන නමුත් පරිසරය විනාශ කරගෙන මෙම ද්‍රව්‍ය ලබාදිය නොහැකි බවද පැවසීය. ඇතැම් අවස්ථාවල මෙවැනි ද්‍රව්‍ය යොදාගෙන සිදුකරන සංවර්ධන කටයුතුවලින් සිදුවන ආර්ථික වාසියට වඩා පරිසරයට සිදුවන ආර්ථික හානිය අතිවිශාල බවද දිසානායක මහතා සඳහන් කළේය.