බැඳුම්කර සිදුවීම සම්බන්ධ කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් යෙදීම නිවැරදි බව බැඳුම්කර ජනාධිපති කොමිසම සඳහන් කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොමිෂන් සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
“බැඳුම්කර සිදුවීම සම්බන්ධ කොප් කමිටුව නිකුත් කරපු කෝප් වාර්තවේ පාද සටහන් යොදා තිබෙන බවට විවිධ කතා ඒ කාලයේ කිව්වා. නමුත් කොප් වාර්තාවේ පාද සටහන් වැරදි නොවන බව කෙමිසම සඳහන් කර තිබෙනවා. සටහන් නිවැරදියි කියා ජනාධිපති කොමිසම සඳහන් කර තිබෙනවා.
එහෙම වුණත් මෙම වාර්තාව නොකියවා විවිධ අය විවිධ කරුණු සමාජගත කරන්න හදනවා. බැඳුම්කර සිදුවීමේදී වරදක් වුණා කියලත්, මහබැංකු අධිපතිවරයා මෙයට මැදිහත් වුණා කියලත් කෝප් වාර්තාවේ ඒකමතිකව කියා තිබෙනවා. ඒනිසා කාටවත් කියන්න බැහැ අපි හොරු රකින්න උත්සාහ කළා කියලා. අපට හොරු රකින්න අවශ්‍යතාවක් නැහැ. හොරුන්ට දඬුවම් දෙන්න කියලයි අපි කියන්නේ.”