ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන නව වරාය නගරයේ (Port City Colombo) ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී-ජින්පින් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17දා) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුම ඊයේ (16දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කරනු ලැබීය.
මුහුද ගොඩකරමින් මෙවැනි නගරයක් මෙරට ඉදිවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඇ.ඩො.මිලියන 1337ක ආයෝජනයක් මෙම නව වරාය නගරයේ ප්‍රථම අදියර වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබේ. එය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ආයෝජනයක් වෙයි.
නවීන පන්නයේ සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක ඇතුළු සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් සපුරා ඉදිකරනු ලබන මෙම නව වරාය නගරය නවීන මාර්ග පද්ධතියකින්ද යුක්ත වේ.