කොළඹ සිට බදුල්ල බලා ඊයේ (24දා) සවස කොළඹින් පිටත්වූ රාත්රී තැපැල් දුම්රිය රාත්රී 11.00 පමණ හාලිඇල සහ බදුල්ල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්වීම නිසා අද (25දා) උදේවරුවේ එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාලවී තිබිණි.
දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගලක් හේතුවෙන් දුම්රිය පීල්ලක් කැඩීයාම මෙම අනතුරට හේතුව බව දුම්රිය බලධාරීහු පවසති. මේ හේතුවෙන් දුම්රියට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැත.
අද උදෑසන සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ යෙදී සිටිති. මේ හේතුවෙන් දෙපසින් පැමිණි දුම්රිය බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථානවල නවතා තිබිණි.
හාලිඇල- විජේරත්න රත්නායක