මැලේසියානු ත්රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට භාරදුන් කොටි ගුවන් බළකායේ නිර්මාතෘ වන ශංකර්ගේ බෑණාලෙස සැලකෙන 'කුසාන්දන් මාස්ටර්' නමැත්තා කොටි සංවිධානය සතු වූ ගුවන් යානා යොදා ගනිමින් කොළඹ, අනුරාධපුරය ඇතුළු ප්රදේශ කීපයකට ගුවන්ප්රහාර එල්ලකිරීම සඳහා සෘජුව දායකත්වය සැපයූ අයෙකු බවට ආරක්ෂක බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබේ.
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන ඔහු කොටි සංවිධානය ගුවන් බළකාය සඳහා යොදාගත් 'ස්ලින්' වර්ගයේ යානා ප්රහාරක යානා බවට පරිවර්තනය කිරීමේ කාර්යයෙහි හා කුඩා හෙළිකොප්ටර් යානා සකස්කර ඒවා අත්හදා බැලීමේ කාර්යයේත් නියැළුනු බවට පැහැදිලි සාක්ෂි යුදහමුදාවේ සන්නද්ධ බුද්ධි බකායේ විමර්ශන නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.
කොටි සංවිධානයේ ගුවන්හමුදා බලකායට අයත් ඉතා රහසිගත ලියකියවිලි හා ඡායාරූප රැසක් මේවන විට යුදහමුදා බුද්ධි අංශ සතුව පවතී. එම සාක්ෂි කුසාන්දන් නමැත්තා පැහැදිලිවම කොටි සංවිධානයේ ප්රබල සාමාජිකයෙක් බව තහවුරු කෙරෙන බවත් යුද හමුදා බුද්ධි අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
කුසාන්දන් නමැති මෙම කොටි ගුවන් බළකායේ ප්රධානියා 2009 වසරේ දී සිදු වූ අවසන් සටන සමයේ දී මැලේසියාවට පැනගත් අයෙක් බවත් මේවනවිට තොරතුරු හෙළි වී තිබේ.
කුසාන්දන් නමැත්තා එල්.ටී.ටී.ඊ.සංවිධානය තුළ හඳුන්වනු ලැබුයේ කුසාන්දන් මාස්ටර් ලෙස බවත්, එහෙත් ඔහුගේ සැබෑ නම සන්ද්රලිංගරාජා කුසාන්දන් බවත්, මුල්ලෙයිචෙල්වමී යන නම්වලින්ද ඔහු හඳුන්වා ඇති බවත් ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
මැලේසියාවේ දී එරට ත්රස්ත මර්ධන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් කුසාන්දන් ඇතුළු කොටි සාමාජිකයන් තිදෙනා කොළඹ රැගෙනවිත් ඇති අතර, ත්රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීහු ඔවුන්ගෙන් ප්රශ්න කරමින් සිටිති.