මැතිවරණ කොමසාරිස්වරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තු නාමාවලිය පිළිගැනීමත් සමග එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට නැවත ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට හැකි වනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තු නාමාවලියට ගුණරත්නම් මහතාගේ නමද ඇතුළත් කර ඇති අතර, පසුගියදා දේශපාලන පක්ෂවලට අයත් ජාතික ලැයිස්තු නාමාවලි භාරගැනීමේදී මැතිවරණ කොමසාරිස්වරයා පෙරටුගාමී පක්ෂ ජාතික ලැයිස්තු නාමාවලියද පිළිගෙන ඇත.
ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා 'අද'ට ප්‍රකාශ කළේ, මැතිවර ජාතික ලැයිස්තුවට කුමාර් ගුණරත්නම්ගේ නම ඇතුළත් කිරීමට පෙරදී ඔහුව අත්ඩංගුවට ගැනීම සඳහා තිබූ නීතිමය තත්ත්වය ගුණරත්නම් මහතා ජාතික ලැයිස්තු සාමාජිකයෙකු වීමත් සමගින් වෙනස් විය හැකි බවයි. කෙසේ නමුදු මැතිවරණ නීතියට අනුකූලව එසේ සිදුවේද යන්න තමන්ට පැවසිය නොහැකි බව රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පෙරටුගාමී පක්ෂයේ ජාතික ලැයිස්තු නාමාවලිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත් සැණින් කුමාර් ගුණරත්නම්ට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීමට අවස්ථාවක් ඇති වන බවය. තවද කුමාර් ගුණරත්නම් මහතා ජාතික ලැයිස්තුවට සුදුස්සෙකු වීම මේ හරහා මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කර ඇති බවද හෙතෙම පැවසීය.