මෙරට අසාදු ලේඛනයට ඇතුළත් කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ නමැත්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට පටහැනිව දේශපාලන කටයුතුවල නිරත වන බව අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන අන්දමින් කටයුතු කිරීම පිළිබඳව සොයාබලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරමින් ඉල්ලීමක්ද කර තිබේ.
පොදු විපක්ෂය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් කුමාර් ගුණරත්නම් මහතා අදහස් දැක්වීම තමාට හා අනෙකුත් ආණ්ඩු විරෝධී සියලුම අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුව හා වක්‍රව බලපාන බව නාමල් රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබියදී, සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරික වශයෙන් දේශපාලනය කළ නොහැකි වුවද, ජනවාරි 01 වැනිදා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සහ 03 වැනිදා දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පොදු විපක්ෂය දැඩි ලෙස විවේචනය කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
එසේ සංචාරක වීසා මත පැමිණි අයෙකුට මෙරට තුළ දේශපාලනය කළ නොහැකි වුවද, කුමාර් ගුණරත්නම් මහතා ඉදිරියේදී ප්‍රසිද්ධ ජනරැලි කිහිපයකට සහභාගි වීමට නියමිත බවද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට ප්‍රථම ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කරන ලද අවස්ථාවේදී නැවත මෙරට පැමිණීමට ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද, ඔහු යටතේ ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් අවසර ලබාදීම මගින් යම් ගනුදෙනුවක් සිදුව ඇති බව පැහැදිලි වන බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ පිළිබඳව ආගමන විගමන පාලකවරයා වෙත කඩිනමින් දැනුම්දී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ යුතු බවයි.