මැලේසියාවේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පුද්ගලයා පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සියලුම තොරතුරු හෙළි කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම ජාවාරම්කරු මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජාහිඩ් ලෙස හඳුනාගත් බවත්, 2009 වසරේ සිට 2014 වසරේ අගෝස්තු මස දක්වා කාලය තුළ වරින්වර කන්ටේනර් 07 ක් මගින් හෙරොයින් කිලෝ දහසකට අධික ප්‍රමාණයක් මෙරටට එවා තිබෙන බවට හෙළි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඔහු විසින් මෙරටට එවා තිබෙන හෙරොයින්වලින් විශාල ප්‍රමාණයක් තුර්කියට යළි ප්‍රතිඅපනයනය කර තිබෙන බවත්, ඉන් කොටසක් මෙරට තුළ අලෙවි කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
එම හෙරොයින් බෙදාහැරීමේ ඒජන්තවරුන් ලෙස කටයුතු කළ මොහොමඩ් හම්සා හා සහ අහමඩ් සබ්රික් නජිමුඩීන් නැමැති පුද්ගලයන් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඔවුන් හා සම්බන්ධ වී හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මැලේසියාවේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන මොහොමඩ් මුබාරක් නැමැත්තා මැලේසියාවේ ප්‍රභූ පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන බවත්, ඔහු එහිදී විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් සම්මාන පවා දිනාගෙන තිබෙන බවත් පවසා සිටියේය.
එසේම මෙම පුද්ගලයා සෙල්වම් හා පරාවර්තන චිත්‍රපට දෙක නිෂ්පාදනය කිරීමට මැලේසියාවේ සිටිමින් දායකත්වය ලබා දී තිබෙන බවත්, චිත්‍රපටවලින් උපයාගත් ලක්ෂ 55කට අධික මුදලක් ඔහු තවමත් චිත්‍රපට සංස්ථාවෙන් ලබාගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මොහු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් මේ වනවිටත් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබෙන බවද, එම වරෙන්තුවට අනුව ඉදිරි දිනවලදී ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බවද ගුණසේකර මහතා පවසා සිටියේය.
හෙරොයින් මෙරටට එවීම සඳහා යන්ත්‍ර සූත්‍ර, ලී බඩු වැනි ද්‍රව්‍ය සහිත කන්ටේනර් භාවිත කර තිබෙන බවට හෙළි වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.