කළු මුහුදට වැටුණු රුසියානු යානයේ කළු පෙට්ටිය හමුවේ
පුද්ගලයන් 92දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටුණු රුසියානු ගුවන් හමුදාවේ මගී ප්‍රවාහන ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගැනීමට හැකි වූ බව මොස්කව් බලධාරීන් පවසයි.
පසුගිය ඉරිදා දිනයේදී සෝචි වෙතින් ගමන් අරඹා විනාඩි දෙකකින් පමණ Tu-154 යානය කළු මුහුදට කඩා වැටුණු අතර, එම අවස්ථාවේදී යානය තුළ පුද්ගලයන් 92දෙදෙනෙකු ගමන් කරමින් සිටියහ.
කෙසේ වෙතත්, මෙම ගුවන් අනතුරින් මියගිය පිරිසෙන් පුද්ගලයන් 12දෙනෙකුගේ පමණක් සිරුරු සොයාගැනීමට එටරට ආරක්ෂක අංශ සමත් වුවත්, තවත් සිරුරු කොටස් පමණක් හමුවී තිබුණි.
සිරියාවේ රැඳී සිටින රුසියානු ආරක්ෂක හමුදා වෙත එළැඹෙන අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වීමට පිටත්ව ගිය එරට ඇලෙක්සැන්ඩ්රෝව් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 64 දෙනෙකුද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ගුවන් අනතුරට හේතුව තවමත් නොවිසඳුණු ප්‍රහෙලිකාවක් බවට පත්ව ඇති අතර, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකකළ හැකි සාක්ෂියක්ද මෙතෙක් හමුවී නොමැති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය දින කිහිපය පුරා එරට ආරක්ෂක හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් යානයේ සුන්බුන් කොටස් සාගර පතුලේ තිබී සොයාගෙන ඇති අතර, මේ අනුව යමින් යානයේ කළු පෙට්ටියද සොයාගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම, යානයේ දෙවැනි කළු පෙට්ටිය ඇති ස්ථානයද හඳුනාගෙන ඇති අතර, එයද සොයා ගනිමින් මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.
යානයේ නියමුවාගේ අත්වැරැද්දක් හෝ කාර්මික දෝෂයක් අනතුරට හේතුවිය හැකි බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි. එමෙන්ම, යානය තුළ ප්‍රමාණයට වඩා පිරිසක් ගමන් කිරීමද මෙම අනතුරට හේතුව බවටද මතයක් පවතී.
කෙසේ වෙතත්, යානය කඩා වැටෙන අවස්ථාවේදී සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තහවුරු කරගැනීමක් මෙම කළු පෙට්ටි හරහා ලබාගත හැකි වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

