ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ ප්‍රථිකර ලබමින් සිටියදී පසුගිය මාසය තුළ කුඩා දරුවන් පස්දෙනෙකු මියගොස් ඇත්තේ ‘ඇඩිනෝ’ වෛරසයෙන්ද කියා නිශ්චිතව සඳහන් කළ නොහැකි බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසීය.
දැනට වෛරස් රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් පස් දෙනෙකු ළමා දැඩිසත්කාරක ඒකයේ ප්‍රථිකාර ලබන බවත්, මෙකී රෝගී තත්ත්වය පාලනය කිරීමට අරක්ෂිත උපක්‍රම රැසක් රෝහල මගින් ගෙන ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ රෝහල් අධ්‍යක්ෂකවරයා,
“දරුවන් පස් දෙනා මියගිහින් තියෙන්නේ මාසයක් ඇතුළත. නැතිව දින කිහිපයක් ඇතුළත නෙවෙයි. මියගිය දරුවන් පස්දෙනා වෛරසයකින් මිය ගියා කියලා හරියටම කියන්න බැහැ. මියගිය දරුවන්ගේ ලේ සාම්පල කොළඹ යවලා තියෙනවා. මියගිය දරුවන් ‘ඇඩිනෝ’ වෛරසයෙන්ම මිය ගියා කියලා කියන්න බැහැ. වෙනදාත් නිව්මෝනිය ආදී රෝගවලින් ළමා වාට්ටුවේදී දරුවන් එක්කෙනෙක් දෙනෙක් මිය යනවා. ඒවාත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා ආරක්ෂිත පියවර රැසක් රෝහල මගින් අරන් තියෙනවා. කොළඹ වසංගත රෝග ඒකකයෙන් වෛද්‍යවරුන් පැමිණ විශේෂඥ වෛද්‍යවරු සමග මේ ගැන සාකච්ඡාවක් කළා. මේ සඳහා ආරක්ෂිත පියවර රැසක් අරගෙන තියෙනවා”.
මේ පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ අනිල් දිසානායක මහතාගෙන් සිදුකළ විමසුමකදී ඒ මහතා මේසේ ප්‍රකාශ කළේය.
“මෙය වංසගත රෝගී තත්ත්වයක්ද, මොන විෂබීජයකින් මෙය ඇති වුණාද කියලා කියලා හොයාගෙන යනවා. ඒ ගැන තවදුරටත් විශ්ලේෂණය කරනවා. කරාපිටිය රෝහලේ තමයි ඔය ප්රශ්නය තියෙන්නේ. මෙය වසංගත රෝගී තත්ත්වයක් කියලා තවම හඳුනාගෙන නැහැ. දැනට කරාපිටිය ශික්ෂණ රෝහලින් තමයි මේ ගැන වාර්තා වෙලා තියෙන්නේ”