ලංගම සේවකයන්ට ගෙවිය යුතු රුපියල් කෝටි 374 කට අධික සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නොමැති බව සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති නඩුව සඳහා ලබන ඔක්තෝබර් 14 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඇතුළු වගඋත්තරකරුවන් 06 දෙනෙකුට නොතීසි නිකුත් කෙරිණි.
ලංගම සේවකයන් 36,000 කට ගෙවිය යුතු රුපියල් කෝටි 374 කට අධික EPF මුදල් ගෙවීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා මෝටර් සේවක සංගමයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එලෙස නොතීසි නිකුත් කළේය.
නොතීසි නිකුත් කළ සෙසු වගඋත්තරකරුවන් වූයේ සහකාර කම්කරු කොමසාරිස්වරුන් වන මහජන සබඳතා සහ සේවක අර්ථසාධක අරමුදල්, ලංකා ගමනාගමන මණ්ඩලය සහ එහි මුදල් කළමනාකාරවරයාටය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් ලෙස කටයුතු කොට ඉන් ඉවත් වූ සේවකයන් 107 දෙනෙකු ඇතුළු සේවකයන් 36,000 ක් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ලෙස රුපියල් කෝටි 374 කට අධික මුදලක් ගෙවිය යුතු වුවත්, වගඋත්තරකාර ලංගමය 2010 වසරේ සිට එම මුදල් ගෙවා නොමැති නිසා ඒවා ගෙවීමට මැදිහත්වන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.