ත්‍රිරෝද රථ රියදුරන් සතුව ලක්ෂ තිස් අටක ඡන්ද සංඛ්‍යාවක් පවතින බැවින් ඕනෑම රජයක් පෙරළීමේ බලය තම සාමාජිකයන්ට තිබෙන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසීය. රජය විසින් 2017 ජනවාරි 09 වැනිදා නිකුත් කර ඇති මෝටර් රථ වාහන පනතේ ගැසට් පත්‍රයේ පළමු වැනි වගන්තියෙන් අපරාධකරුවන්ට වාසි රැසක් ලබාදී ඇති බවද ජයරුක් මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් ජයරුක් මහතා, “කුමන ආණ්ඩු බලය ආවත් අපි ගැන බලන්න කවුරුත් නැහැ. අපි හැමදාම මහපාරේ. ලංකාවේ ත්‍රිරෝද රථ 11,75,000ක් ලියාපදිංචි වෙලා තියෙනවා. එයින් ලක්ෂ 10ක් ප්‍රවාහනයට යොදවලා. දෛනිකව ත්‍රිරෝද රථ ලක්ෂ 7 ½ ක් 8ක් පමණ මගීන් ප්‍රවාහනයට යොදා ගන්නවා. ත්‍රිරෝද රථ ව්‍යාපරය මගින් ලක්ෂ 50ක ප්‍රමාණයක් යැපෙනවා.
අපි සතුව ලක්ෂ 38ක පමණ ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. රජයෙන් ගැසට් ආවම බයවෙන්න එපා. 2017 ජනවාරි 09 වැනිදා රජය නිකුත් කරපු ගැසට් එකේ යම් යම් වගන්ති අපිට පිළිගන්න බැහැ.මීටර් හයි කරගන්න යන්න එපා. අපි ත්‍රිරෝද රථවලට මීටරයක් නොමිලේ සවිකිරීමේ ක්‍රමවේදයක් ගේනවා.
රජයෙන් අපිට ගෙනාපු ගැසට් එකේ 11 වැනි වගන්තියේ ගංජා, කසිප්පු අදින ජාවාරම්කරුවන්ට ලොකු අවස්ථාවක් නීතියෙන් හදලා තියෙනවා. ඒ වගන්තියේ තියෙනවා යම් මගියෙකු පාර්සලයක්, භාණ්ඩයක් ත්‍රිරෝද රථයේ අමතක කරලා ගියොත් ළඟම පොලීසියට බාරදීලා රිසිට්පතක් ත්‍රිරෝද රියදුරුට ලබාගන්න කියලා. සමහර විට පොලීසිය පිහිටලා තියෙන්නෙ කිලෝමීටර 08ක් 10ක් දුරින් වෙන්න පුළුවන්. එතකොට ඒ පාර්සලය අරං යන හයර් එක අසරණ වීල් රථ රියදුරාට දෙන්නෙ කවුද?
අනික ගංජා, අරක්කු නීතිවිරෝධී දේවල් ප්‍රවාහනය කරන්න මේකෙන් අවසරයක් දීලා නැද්ද. කවුරු හෝ ත්‍රිරෝ‘ද රථ රියදුරෙක්ට ගංජා, අරක්කු, කුඩු අදිනවා. පොලීසියට අහුවුණාම කියනවා කවුරු හෝ මේක දාලා ගිහිං මේ ළඟම පොලීසියට බාරදීලා රිසිට්පතක් ගන්න යනවා කියලා කියන්න බැරිද? අපූරුවට පුළුවන්. ඉතිං මේ ගැසට් හදන අය මේවා ගැන හිතන්නෙ නැහැ.
2016/2017 අයවැය හදද්දී මම ඉල්ලුවේ ත්‍රිරෝ‘ද රථ ව්‍යාපාරය වෙනුවෙන් නියාමන ආයතනයක් හදවන්න කියලා. නමුත් ඒක වුණේ නැහැ. මොන රජයක්වත් අපි නැගිටිනවාට කැමති නැහැ. ත්‍රි‘රෝ‘ද රථවලට මීටර් සවිකිරීමේ සංකල්පය ගෙනවිත් කළු කඩ මුදලාලිලාගේ සාක්කු පුරවාගන්න ළඟදී ගෙනාපු දඩ මුදල් නීතියක් අපි අඩු කරන්න කොළඹ ඉඳලා ලොකු සටනක් කළා.
ඉතිං සමහර දේශපාලකයන් අපි සංවිධාන වෙනවාට බයයි. ඡන්දයට එයි කියලා. නමුත් මේ ව්‍යාපාරයේ ඉන්නෙ බුද්ධිමත් තරුණ අය. අපි ඔවුන්ට අවස්ථාව දෙනවා ප්‍රාදේශීය සභාවලට හරි ඉල්ලන්න. අපි අපේ සාධාරණ ඉල්ලීම් හැම රජයකින්ම ඉල්ලුවා. නමුත් ලැබුණෙ නැහැ. දැං සංවිධාන වෙන්නෙ ඒ ඉල්ලීම් දිනාගන්නයි.
ත්‍රිරෝද රථවල අමතර කෑලි සවිකර ගන්න එපා. ඒක නීතිවිරෝධීයි. අනික අධික වියදමක් කරලා කෑලි සවිකරලා ඒකෙන් ලොකු අනතුරු වෙන්නත් හේතුවෙනවා. අපේ මගී ප්‍රවාහන සේවය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් පත්කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා" යැයි පැවසීය. ඔහු මේ බව පැවසුවේ, පෙරේදා (28දා) පොළොන්නරුව, සෙවණපිටිය 'සෙවණ' ත්‍රිරෝද රථ සංගමයේ 12 වැනි සංවත්සරයට එක්වෙමිනි.
මනම්පිටිය නිමල් ජයරත්න