රටපුරා ස්ථාපිත කර තිබෙන ඔසුසල්වලට අවශ්‍ය ආකාරයට ඖෂධ ලබානොදීම නිසා රෝගී ජනතාව සහ ඔසුසල් නියෝජිතයන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ රටපුරා ප්‍රධාන ඔසුසල් 23 ක් ස්ථාපිත කර තිබෙන බවත්, මීට අමතරව 100කට අධික නියෝජිත ඔසුසල් ස්ථාපිත කර තිබෙන බවත් එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන සෑම ඔසුසලක් තුළම ඖෂධ වර්ග 193 ක් තිබිය යුතු වුවත්, මේ වනවිට ඔසුසල්වලට ලබාදෙන්නේ ඖෂධ වර්ග 82 ක් පමණක් බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමේදී රෝහල් තුළ නොමැති ඖෂධ ලබාගැනීමට බෙහෙත් තුණ්ඩු ලබා දුන්නද එම තුණ්ඩුවලට අනුව ඖෂධ විශාල ප්‍රමාණයක් ඔසුසල් තුළ නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා රෝගී ජනතාවට අධික මුදලක් ගෙවා පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල්වලින් ඖෂධ මිලදීගැනීමට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඔසුසල්වල මෙලෙස ඖෂධ හිඟයක් ඇති වී තිබෙන්නේ අවශ්‍ය තරම් ඖෂධ ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා බවත්, ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 30කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණ දමන නිසා බවත් හෙතෙම සඳහන් කළේය.