පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු MH370 යානය සොයා සෝදිසි මෙහෙයුම්වලට සහභාගි වූ ඔස්ට්‍රේලියානු යුද නෞකාවට ගුවන්යානා කළු පෙට්ටියෙන් ලැබෙන සංඥාවලට සමාන සංඥා ලැබී ඇති බව බලධාරීහු අද (7දා) අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී යුද නෞකාවක් වන ඕෂන් ෂීල්ඩ් නෞකාව විසින් දෙවරක් මෙම සංඥා ග්‍රහණය කරගෙන ඇති අතර, එක් සංඥාවක් පැය දෙකකට වඩා වැඩි කාලයක් ලැබී ඇති බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුම භාර ප්‍රධානියා වූ එයාර් චීෆ් මාර්ෂල් ඇන්ගස් හූස්ටන් පෙන්වා දෙන්නේ මෙය ගුවන්යානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි සංඥාවක් බවයි.
කෙසේ වෙතත් තවදුරටත් සෝදිසි මෙහෙයුම් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
'අපට තවම ගුවන් යානය හමුවූයේ නැහැ... අපට තවදුරටත් තොරතුරු අවශ්‍යයි' යනුවෙන් හෙතෙම පවසයි.
මීට පෙර චීන නෞකාවකට ගුවන්යානාවේ කළු පෙට්ටියකින් නිකුත් කරන ශබ්ද තරංගවලට සමාන සංඥාවක් හසුවී ඇති බව චීන මාධ්‍ය පවසා සිටියේය.
ඔවුන් පෙන්වා දුන්නේ එය කිලෝහර්ට්ස් 37.5 සංඛ්‍යාතයක තරංගයක් බවය. එය ගුවන්යානයේ කළු පෙට්ටියෙන් නිකුත් කරන ශබ්ද තරංගයට බොහෝ සේ සමාන බවද කියවුණි.
එහිදී, ‘පින්ගර් ලොකේටර්’ නම් උපකරණයක් හරහා අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියෙන් නැගෙන සියුම් ශබ්ද තරංග ග්‍රහණය කරගැනීම සඳහා අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ නෞකාද මෙහෙයුමට සම්බන්ධව සිටි බවත්, කළු පෙට්ටියේ බැටරි බලය හීන වී යාමට ආසන්න වීම හේතුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කර ඇති බවත් බලධාරීහු පැවසූහ.
බැටරි බලයෙන් නිකුත් කෙරෙන මෙම පින්ගර්ස් හෙවත් සියුම් ශබ්ද තරංග යානයක් අනතුරට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ දින 30ක කාලයකි.
මෙම, MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, යානය දකුණුදිග ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කිරීමෙන් නිගමනයකට පැමිණ තිබුණි. කෙසේ වෙතත් යානය මේ ආකාරයෙන් සිය ගමන්මග වෙනස් කරන ලද්දේ කවර හේතුවක් නිසාද යන්න තවමත් අභිරහසක්ව පවතී.
කෙසේ වෙතත් මේ වනවිට MH370 යානය අතුරුදන්ව මාසයක් ගෙවී අවසන්ය.