ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග නොකිරීමට ඒකාබද්ධ විපක්ෂයතීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ට ගම්වලට යෑමට නොහැකි තත්ත්වයක් තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනප්‍රියතාව උපයෝගී කරගැනීමට එම ඇමතිවරුන් උත්සාහ ගනිමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙන බවත්,එක්ව ගමනක් යෑම සම්බන්ධව කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව විරෝධය පළ කර තිබෙන බවත් වාර්තා වේ.
පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාවගේ ඡන්දය ලබාගත් මෙම ඇමතිවරුන් යළිත් ගම්වල මැතිවරණ කටයුතු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා යොදාගැනීමේ උපක්‍රමයක් වශයෙන් එක්විය යුතුබවට ප්‍රකාශ නිකුත් කරන බවත්,මෙම කරුණ තේරුම්ගෙන දේශපාලන උපක්‍රම තෝරාගත යුතු බවත් එම මන්ත්‍රී පිරිස දැඩිව අවධාරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයට වාසිසහගත කොට්ඨාසවල මැතිවරණය කල් දමා ආණ්ඩුවට වාසිසහගත නගරබද කොට්ඨාස තෝරා මැතිවරණය පැවැත්වීමේ සූදානමක් තිබෙන බවටද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පසුබිම තුළ ආණ්ඩුව යෝජනා කරන කුමන තත්ත්වයකට වුව මුහුණදීම සඳහා කණ්ඩායම් සහ අපේක්ෂකයන් සූදානම් කරන ලෙසද,ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉල්ලා සිටින අවස්ථාවලදී සාකච්ඡා කිරීමට සූදානම්විය යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයන් සූදානම් කර, සංවිධාන ජාලය ශක්තිමත් කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු සූදානමක් නැති බවයි.
ගම්බද ජනතාව විසින් තනිව තරග කරන්නැයි නිරන්තරව ඉල්ලීම් ඉදිරිපත් කරන බවත්,ශ්රීලනිපය සමග එක්වුවහොත් ඒකාබද්ධ විපක්ෂයට ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට සිදුවන බවත් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
නම සඳහන් කිරීමට අකමැති වූ එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තනිකරම කරන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන වැඩපිළිවෙළක්.අපට අවාසිම නගර සභා ටික තෝරලා ඡන්දේ තියන්න යන්නේ.බහුතරයක් අපට වාසිසහගත නිසා එම ප්‍රදේශ අත්හැර මැතිවරණයට යන ලෙස ජනාධිපතිවරයා පවසා තිබෙනවා.ජනතාවට ඡන්ද අයිතිය දෙන්න අවශ්‍ය නිසා අපි ඕනෑම ස්ථානයකට තරග කරන්න සූදානම්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ගමනක් යෑම සම්බන්ධව ගම්මට්ටමේ ජනතාව කැමති නැහැ.පසුගිය මැතිවරණයේදී ජනාධිපතිතුමාට ලැබුණු ඡන්ද ලක්ෂ හැට දෙක ඡන්ද ලක්ෂ හය දක්වා අඩුවෙනවා.ඒ බව දැනගෙන එකතුවෙන්න යෝජනා කරනවා මිසක් ජනාධිපතිවරයාගෙ අවංකභාවය පිළිබඳ කරුණක් නෙමෙයි.
මෙහෙම එකතුවෙන්න එපා කියන විරෝධය දැනටමත් ගම්වල ආරම්භවෙලා තිබෙනවා.ගම්වල වෙනම තරග කරන්න යෑමට බිය නිසා තමයි නගරවල ඡන්දේ තියන්න යන්නේ.උදාහරණයක් විදියට බහු ආසනයක් වුණු වත්තල නගර සභාව මේ සැරේ ඡන්දෙට තියනවා.වත්තල නගර සභාව මුස්ලිම්, දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශයක්.ජාඇල නගර සභාවත් ඒ විදියමයි.ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රාශියක් තිබියදී තෝරගෙන තියෙන්නේ ඒ වගේ ගැටලු සහගත සුළු ජනකොටස් ඉන්න පළාත් පාලන ආයතන විතරයි.කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය දකින්නට ලැබෙනවා.
කුමන ස්ථානයක මැතිවරණය පැවැත්වුවත් අපි සූදානම්.බොහෝ ස්ථානවලට අපේක්ෂක ලැයිස්තු සකස් කර අවසන් කර තිබෙනවා.තවත් ස්ථාන සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා.ගම්මට්ටමින් රැස්වීම් ආරම්භ කර තිබෙනවා.ප්රචාරක වැඩ කටයුතු සාර්ථව සිදුවෙනවා.මේ කාරණා දිහා දකින ආණ්ඩුව බිය වී තිබෙනවා" යනුවෙන් පවසා සිටියේය.