එප්පාවල එළියදිවුල්වැව ගම්මානයේ ගෙවත්තකට පැමිණි විශාල ගැට කිඹුලෙකු අල්ලා ගැනීමට නිවැසියන් හා ගම්වාසීහු සමත්ව සිටිති.
මෙම ගම්මානයේ පිහිටි වැවෙහි පිට වාන අසල පිහිටි ගෙවත්තකට ඊයේ (19) රාත්රියේ හදිසියේ පැමිණි අඩි 8 ක් පමණ දිග මෙම ගැට කිඹුලා නිවැසියන් විසින් දැකීමෙන් අනතුරුව අල්ලා ගස් බඳිනු ලැබ තිබේ. එළියදිවුල්වැව ගම්මානයේ වැවෙහි සිටි කිඹුලෙකු මෙලෙස ගම්මානයට පැමිණෙන්නට ඇති බවට විශ්වාස කරන බව ගම්වාසීහු පවසති.
කිඹුලා අල්ලා ගැනීමෙන් අනතුරුව එප්පාවල පොලීසිය දැනුවත් කර ඒ හරහා වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළද අද (20දා) පස්වරු 12.00 පමණ වනතුරුත් වනජීවී නිලධාරීන් එම කිඹුලා රැගෙන යාමට නොපැමිණි බව ගම්වාසීහු පැවසූහ.