අන් මත දරන පුද්ගලයන්ට පහරදීමේ සංකල්පය ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය විසින් රට තුළ ක්‍රියාත්මක කිරීම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළ බොහෝ පිරිසකට මැර ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
නායක මට්ටමේ දේශපාලඥයන් මෙම ක්‍රියාවන් සිදු නොකළත් කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් පාලින්ද නුවර ප්‍ර‘දේශයේ සහ අඟලවත්ත ප්‍ර‘දේශවල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන්ට පහරදීම සිදුකරන බවද එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
ඊයේ (19දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ 1977 සහ 83 වසරවල එක්සත් ජාතික පක්ෂය විසින් ඇති කළ අන් දේශපාලන මත දරන පිරිස්වලට සිදුකරන අඩත්තේට්ටම් කිරීම් 1994 වසරේ සිට නවතා දැමූ බවත්ය.
එහෙත් මෙවර ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂයේ බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය, පක්ෂ සාමාජිකයන් නිසිලෙස හසුරුවා ගැනීමට කටයුතු නොකිරිම නිසා 1977 සහ 83 දශකවල පැවති තත්ත්වය නැවතත් ඇති වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙම තත්ත්වයට අමතරව බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට රැකියාවලට යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත්, සමහර සේවකයන් රැකියාවලින් ඉවත් කර තිබෙන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මේ නිසා පක්ෂ නායකයන් පාක්ෂිකයන් හසුරුවා ගැනීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුව සඳහන් කරන ආකාරයට යහපාලනයක් ඇතිකර ගැනීම සිහිනයක් බවද හෙතෙම පවසා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය භාවිත කිරීම නිසා අඩත්තේට්ටම්වලට ලක්වනවා නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට දන්වන ලෙසත්, එලෙස ලැබෙන සියලුම තොරතුරු පාර්ලිමේන්තුවටත්, මහජනතාවටත් ප්‍රසිද්ධියට පත්කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර, පුද්ගල පහරදීමට චෝදනා ලැබූ එ.ජා.ප. පා.ම. තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එමෙන්ම පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නි. අමාත්‍ය දුලිප් විජේසේකර, බියගම ප්‍රා. සභාපති ආනන්ද ගනේපොළ යන මහත්වරුන් දෙදෙනා ඊයේ අධිකරණය විසින් ඇප මත නිදහස්කරන ලදී.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (19දා) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අධිකරණයට පැමිණීමට නියෝග කර ඇත්තේ අගලවත්ත නගරයේදී පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.
මීට අමතරව තෙවරප්පෙරුම මහතාට එරෙහිව බදුරලිය නගරයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණවලට අනුව ගිනිඅවි ආඥා පනත යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, නීති විරෝධී ආකාරයට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ජනවාරි 08 වැනිදා කඩවත ප්‍ර‘දේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ යන අය එක් අයෙකුට රුපියල් 1500 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඊයේ (19දා) මුදාහරිනු ලැබිණි.
ඡායාරූප: බන්දු තඹවිට