උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, උමා ඔය ව්‍යපෘතියෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සංගමය සමග අද (20දා) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය. කිසිදු පාරිසරික අධ්‍යයන වාර්තාවකින් තොරව ක්‍රියාවට නංවා ඇති උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළින් අවට ජනතාවට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව මෙහිදී එම සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර ඒ ඉදිරියට ගෙන යන්නේද නැද්ද පිළිබඳ තීරණයකට එළැඹෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉන් අපහසුතාවට පත්ව ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද පවසා සිටියේය.