තමන් කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩනොවන බවත් තමන් උපන්නෙත් මියන්නෙත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේම බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (08දා) කුරුණෑගලදී සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ, සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ ජනහමුවකදීය.
දේශපාලනයෙන් ඉවත්ව නිහඬව ගෙදරට වී සිටී තමන්ට නැවත මේ ආකාරයට දේශපාලන වේදිකාවට ගොඩවීමට සිදුවුයේ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ දුෂ්ට බලවේගවලින් විනාශයට පත්වෙමින් තිබෙන ශ්රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා බව හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නාය.
මේ රටේ සියලුම ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක නායිකාවන්ට වඩා පක්ෂය ආරක්ෂා කිරීමේ යුතුකම හා වගකීම තමන්ට තිබෙන බව පැවසූ කුමාරතුංග මහත්මිය, අද තිබෙන්නේ තම පියා හැදූ පංච මහා බලවේගවලින් සමන්විත ශ්රී ලංකා නිදහස් පක්ෂය නොව එතනෝල්, මත්කුඩු, මිනීමරු බලවේගවලින් හැදුණු මහින්ද රාජපක්ෂගේ ශ්රී ලංකා නිදහස් පක්ෂයක් බව පවසා සිටියාය.
පංච මහා බලවේගවලින් සමන්විතව සෑදූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කෑලිවත් අද නැතැයිද ඇය සඳහන් කළාය.
තමන් කිසිම අවස්ථාවක ශ්රී ලංකා නිදහස් පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට නොයන බවත්, මහින්ද රාජපක්ෂ සිටින නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂයට යා නොහැකි බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.