උතුරේ හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් නවත්වන්න - වැසියන් ඉල්ලයි
උතුරු පළාතේ සිවිල් ආරක්ෂක බළකායට බැඳී සිටින දෙමළ වැසියන් වෙනුවෙන් පුහුණු කටයුතු සිදු කරන යුද හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් තමන්ගේ පුහුණු කාලය අවසන් වන තෙක් නවතා දෙන ලෙස එම වැසියෝ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් ඉල්ලා සිටියහ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට සිවිල් ආරක්ෂක බළකා දෙමළ වැසියන් ඊයේ (07දා) දින පැමිණ මෙම ඉල්ලීම සිදු කළ අතර, මේ වන විට යුද සමයේදී කොටි සංවිධානයේ සිට පසුව යුද හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ සාමාජික සාමාජිකාවන් ඇතුළු 3500කට ආසන්න ප්‍රමාණයක් උතුරු පළාතේ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නිරතව සිටිති.
එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ, මේ වන විට යුද හමුදාව විසින් උතුරේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සංවර්ධන ක්‍රියාදාමයන් රැසක නිරතව සිටින අතර, එහිදී සිංහල, දමිළ හා මුස්ලිම් සියලු වැසියන් වෙනුවෙන් සහජීවනයෙන් කටයුතු කරන බවයි.
එමෙන්ම සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් වශයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ සැලකීමේදී යුද හමුදාවේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කිසියම් වූ නීති පටිපාටියකට යටත්ව සිදුවන නමුත් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු යුද හමුදා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවටද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



