වර්තමානය වනවිට යුද හමුදා සාමාජිකයන් 12,000ටත් වඩා අඩු ප්‍රමාණයක් උතුරේ රැඳී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එසේම උතුරු පළාතේ පවතින්නේ හමුදා කඳවුරු 10 ක් 12 ක් පමණ ප්‍රමාණක් බවත් ජනපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේ යාපනය, තෙලිප්පලෙයි ටේරයිල් පිළිකා රෝහල, අද (19දා) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. රුපියල් මිලියන 300ක වියදමින් ඉදිකෙරුණු මෙම තෙලිප්පලෙයි ටේරයිල් පිළිකා රෝහල උතුරු පළාතට ඇති එකම පිළිකා රෝහල වන අතර, පිළිකා රෝහල සියලුම පහසුකම්වලින් සමන්විතව ඉදිකොට ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“අපේ හැමෝගේම ඇඟේ දුවන්නේ රතු ලේ. කොළ පාට, කළු පාට, කහ පාට, ලේ නොවෙයි දුවන්නේ. අපිට තියෙන හැඟීම, වේදනාව අනෙක් හැමෝටමත් තිබෙනවා. පිළිකාව එක ජාතියකට විතරක් හැදෙන්නෙ නෑ. එක කණ්ඩායමකට විතරක් හැදෙන්නෙ නෑ. ඒකෙන් දුක් විඳින්නෙ සියලුම ජාතීන්.” යැයි පැවසීය.
එසේම මේ වනවිට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 14,000 ක් පුනරුත්ථාපනය කොට නිදහස් කළ බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළේය.
උතුරු පළාතේ පිළිකා රෝගීන් වෙනුවෙන් ශරින්ද උනන්බුව හා නාදන් ශිවගනනාදන් යන මහත්වරුන් විසින් ආරම්භ කළ ට්රේලි භාරය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ පා ගමනේදී ජනතාව පරිත්‍යාග කළ මුදල් හා අනුග්‍රාහක මුදල් යොදවා මෙම රොහල ඉදිකරනු ලැබීය. රෝහල විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, උතුරු පළාත් මහ ඇමති සී.වි. විග්නේශ්වරන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විපක්ෂය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, රුවන් විජයවර්ධන හා එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගීවූහ.
වවුනියාව මධුෂංඛ අමරසිංහ
ඡායාරූප චන්දන පෙරේරා