රුසියානු මගී ගුවන් යානය බෝම්බ පිපිරීමක් හේතුවෙන් කඩා වැටී යැයි යන සැකය සමග ඊජිප්තුවේ සිට පැමිණෙන සියලු ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට රුසියාව කටයුතු කර තිබේ.
ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර යානය තුළට බෝම්බයක් දමා ඇති බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ගෙනහැර දක්වන තොරතුරු පදනම් කරගනිමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මෙම තීරණය ගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා අලුයම සිදුවූ මෙම ගුවන් යානා අනතුරින් පුද්ගලයන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මීට පෙර බ්‍රිතාන්‍ය ඊජිප්තුවේ ෂාම් එල්-ෂෙයික් සිට සිදුකෙරෙන සියලු ගුවන් ගමන් අත්හිටවූ අතර, එහි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් ගුවනින් රැගෙන ඒමද නවතා දැමීය.
සෙනසුරාදා සිදුවූ යානා අනතුරත් සමග ඊජිප්තුවේ සිටින ඉස්ලාම් රාජ්‍ය හිතවාදී සටන්කරුවන් කියා සිටියේ යානය තමන් විසින් බිම හෙලූ බවය.
නමුත්, මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව මුලින් රුසියාව මෙන්ම, ඊජිප්තුව තරයේ කියා සිටියත්, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු බුද්ධි අංශ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට තොරතුරු ගෙනහැර දක්වමින් සිටියහ.
එහිදීද, රුසියානු ජනාධිපතිවරයා පවා මෙවැනි බෝම්බයක් සම්බන්ධ නිගමනයකට පැමිණීමට ඉක්මන් වැඩි බව මුලින් කියා සිටියත්, මේ වනවිට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අනාවරණයන් පිළිගන්නා මට්ටමකට ඔහුද පැමිණ ඇති බව විදෙස් වාර්තා දක්වයි.
ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය මෙන්ම, රුසියාව සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමත් සමග ඔවුන් මෙම රාජ්‍යයන්ට එරෙහිව ප්‍රහාර දියත් කරන බවට අනතුරු අඟවා තිබුණි.