(UPDATE) ඉරාක සහ ඉරාන දේශසීමා ආසන්නයේ බලපෑ රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ඉරාන මාධ්‍ය පවසන පරිදි ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් 61 දෙනෙකු බටහිර ඉරානයේ ජීවත්වූවන් වන අතර, තුවාල ලැබූවන් 300කට අධික පිරිසක ඉරානයෙන් වාර්තා වෙයි. මේ අතර, තවත් පුද්ගලයන් 4 දෙනෙකු ඉරාකයෙන් වාර්තා වන අතර, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම භූ කම්පනය සමග කලාපයේ බොහෝ දෙනෙකු තුළ දැඩි තැතිගැන්මක් ඇති කර තිබෙන අතර, මිනිසුන් බියට පත්ව තම නිවෙස් අත්හැර මංමාවත්වලට වී සිටින බවද සඳහන් වෙයි.
මේ අතර, බැග්ඩෑඩ් අගනගරයේ වූ මුස්ලිම් පල්ලි වහ වහා දේව මෙහෙයන් සිදුකිරීම ආරම්භ කර ඇති බවත්, ඒවා ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ප්‍රචාරය කරමින් සිටින බවත් කියැවෙයි.
භූ කම්පනයෙන් ජීවිත හානි වූ වැඩි පිරිසක් සර්පෝල් ඒ සහාබ් නගරයේ ජීවත්වූවන් බවත්, එය දේශසීමාවේ සිට කිලෝමීටර් 15ක් පමණ ඔබ්බෙන් ඉරානයේ වූ නගරයක් බවත් එරට මාධ්‍ය පවසයි.
අවම වශයෙන් නගර 8ක පමණ විශාල හානි සිදුව ඇති අතර, තවත් බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. එමෙන්ම, සන්නිවේදන පද්ධතියද බිඳ වැටීම් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි ඉරානය සමග වූ ඊසානදිග දේශසීමාව ආසන්නයේ හලාබ්ජා ප්‍රදේශයට කිලෝමීටර් 30ක් පමණ නිරිත දෙසින් ඉරාකය ආශ්‍රිතව භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී ඇත.
පොළෝ මට්ටමින් කිලෝමීටර් 33.9ක් ගැඹුරින් ඇතිවී තිබෙන භූ කම්පනය ආසන්න තුර්කිය, ඊශ්‍රායලය සහ ක්වේට් යන රාජ්‍යයන් වෙතද දැනී ඇති බව සඳහන් වේ.