ශ්‍රී ලංකා චෙන්නායි ධීවර සංවිධාන අතර ඊයේ (12දා) කොළඹදී පැවති දෙවැනි සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් විය.
කොළඹ 07, කිංසිපාරේ පිහිටි සෙඩෙක් ආයතනයේදී ශ්‍රී ලංකාවේ ධීවර සංවිධාන නියෝජිතයන් 20 දෙනෙකු සහ දකුණු ඉන්දීය චෙන්නායි ධීවර සංවිධාන නියෝජතයන් 18 දෙනෙකු අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසීමට ඉන්දීය ධීවරයන්ට ඉඩලබාදිය නොහැකි බවට ශ්‍රී ලංකා ධීවර සංවිධාන නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.
ඉන්දිය ධීවර සංවිධානවල නියෝජිතයන්ගේ ඉල්ලීම වූයේ සතියට දින 02 බැගින් මාස 10 ක් තුළ උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත නෙළාගැනීමට අවසර ලබාදෙන ලෙසයි.
ඊයේ පෙරවරු 10.00 ට පමණ ඇරඹි මෙම සාකච්ඡාව පස්වරු 3.30 ට අවසන් කිරීමට කලින් තීරණය කර තිබුණද, දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගේ අදහස් දැක්වීම් මත එය රාත්‍රිය දක්වා පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ලංකාව නියෝජනය කරමින් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත හා මීගමුව ප්‍රදේශවල ධීවර සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.
ඔවුන් දිගින් දිගටම සඳහන් කළේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත නෙළාගැනීමේ අවස්ථාව හිමිවිය යුත්තේ ලාංකික ධීවරයන්ට පමණක් බවයි. විදේශ ධීවරයන්ට එම අවස්ථාව ලබාදීමෙන් තමන්ට අසාධාරණයක් වන බවද ඔවුහු පැවසූහ.