ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන ධීවර පිරිස සහ යාත්‍රා මුදවාගැනීමට ඉන්දියානු මධ්‍යම රජයේ ධීවර විෂය භාර අමාත්‍ය ෂරාඩ් පවර් මහතා සමග සාකච්ඡා කිරීමට මේ සතියේ ඉන්දියාවට යන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉන්දියානු - ශ්‍රී ලංකා ධීවර ගැටලු යුහුසුළුව සුහදශීලීව විසඳාගැනීමට ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට මාස ගණනාවක සිට සූදානමින් සිටියත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවත්, මේ නිසා සාකච්ඡා ප්‍රමාද වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් ඉන්දියානු මධ්‍යම රජයේ ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී තිබෙන බවත්, මේ අනුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඒ සඳහා දින තීරණය කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ වනවිට ශ්‍රී ලාංකික ධීවරයන් 213 දෙනෙකු සහ යාත්‍රා 40 ක් ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන බවත්, මීට අමතරව ඉන්දීය ධීවරයන් 227 ක් සහ යාත්‍රා 77 ක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බවද හෙතෙම සඳහන් කළේය. ඉන්දීය ධීවරයන් පිරිසද අධිකරණමය කාර්යයන් තුළින් නිදහස් කරමින් සිටින බවද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.