අවතැන් වූවන් වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ නිවාස ඒකක 43,000ක් ඉදිකිරීමේ ඉන්දීය ව්‍යාපෘතිය 2015 වසර ඇතුළත අවසන් කරන බව ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට එක් වෙමින් අද (27දා) ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතා මෙසේ පවසා සිටියේය.
එහිද, ජනාධිපති රාජපක්ෂ මහතා මුණගැසීමට ලැබීම ගැන ඉන්දීය ජනාධිපතිවරයා සිය සතුට පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම, ජනාධිපතිවරුන් දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්කමක් සහිත විෂයයන් රැසක් ගැන අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ගැනත්, වත්මන් ජාතික සමගි සන්ධාන ක්‍රියාදාමය ගැනත් විස්තර කර තිබේ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතා අභ්‍යන්තරිකව අවතැන් වූවන් උදෙසා උතුරු නැගෙනහිර දෙපළාතේ නිවාස ඒකක 43,000ක් ඉදිකිරීමේ ඉන්දීය ව්‍යාපෘතිය සම්බන්දයෙන් විශේෂයෙන් සඳහන් කර ඇත.
2013 වසරේ නව නිවාස 10,000ක් පමණ එම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ බවත්, මෙම වසරේදී තවත් නිවාස 16,000ක් තනා නිම කිරීමට සැලසුම් කර ඇති බවත් පෙන්වා දුන් ඉන්දීය ජනාධිපතිවරයා 2015 වසර ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරෙන බවද සඳහන් කර තිබේ.
එමෙන්ම, තමා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයාව සිටියදී 2009 වසරේ ශ්‍රී ලංකාවේ කළ චාරිකාවද ප්රනාබ් මුඛර්ජි ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.
ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීම පිණිස ඊයේ (26දා) නවදිල්ලි නුවරට ගිය රාජපක්ෂ මහතා අද නව ආග්රාමාත්යවරයා සමගද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්, විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු, යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාජා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් යන මහත්ම මහත්මීන්ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.