යාපනය, ඉරනතිව් දූපතට නාවික සැතපුම් 5ක් පමණ බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට පෙරේදා (23 දා) නාවික හමුදාව සමත්විය. යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව, නැංගුරම්ලා තිබියදී නාවික හමුදා මුර සංචාරක යාත්රාවන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
පසුගිය 21 දා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත නොපැමිණි මෙම ධීවර යාත්‍රාව සොයා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙසට ඉල්ලා තිබේ.
පැවති රළු මුහුදු තත්වය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ඉන්දීය ධීවරයින් පිරිස ආරක්ෂිතව තලෙයිමන්නාරම නාවික කඳවුර වෙත රැගෙන ඒමෙන් පසුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුවත්කර පසුව ඔවුන්ව ඊයේ (24) සවස අන්තර්ජාතික මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකායට බාර දී තිබේ.