ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
විසියානගරම් දිස්ත්‍රික්කයේ, කුනේරු දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිම සහ තවත් දුම්රිය මැදිරි 9ක් මෙසේ පීලිපැනීමට ලක්ව ඇති බව නැගෙනහිර මුහුදුබඩ දුම්රිය පාලනාධිකාරියේ ප්‍රධානියා පවසයි.
මෙම පීලිපැනීමේ සිද්ධියත් සමග තවත් විශාල පිරිසක් දුම්රිය මැදිරිවල සිරවී සිටින බැවින්, සහන සේවා තවදුරටත් සිදුවන බවත්, මේ හේතුවෙන් මියගිය පිරිස තවත් වැඩිවීමේ හැකියාවක් පවතින බවත් බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම දුම්රිය පීලිපැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද කියයි.
තුවාල ලැබූ පිරිස් ළඟම ඇති රෝහල්වලට ඇතුළත් කරමින් පවතින බවත්, ජග්දාල්පූර් සිට ඔඩිස්සා ප්‍රාන්තයේ, අගනුවර වන භූබානේස්වර් දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය සෙනසුරාදා රාත්රියේදී මෙසේ පීලිපැනීමට ලක්ව ඇති බවත් බලධාරීහු පවසති.
ඉන්දියාව තුළ දුම්රිය අනතුරු දුලභ කාරණයක් නොවන අතර, පසුගිය නොවැම්බර් මාසයේදී උතුරුදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය පීලිපැනීමකින් පුද්ගලයන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.