කටුනායක සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ. කි. මී. 70 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාව පවතින බවත්, ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
ඉහත සඳහන් වෙරළබඩ ප්රදේශවලද තරමක් තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
මේ අතර, දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, මෙම වැසි වයඹ පළාතටද පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් දෙපාර්තමේන්තුව පවසයි.