ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය කඩවීම් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කවුන්සිලයකින් යුතු අධිකරණය යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් කළ යෝජනාව අගය කරන බවත්, එයට ස්වාධීන නීතිමය ක්‍රියාවලියක් එක්කරන ලෙසට යෝජනා කරන බවත් සඳහන් කරමින් ඇමෙරිකාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට සහාය දක්වන යෝජනාවක් අද (24දා) ජිනීවා නුවරදී එළිදක්වනු ලැබීය. එංගලන්තය, මැසඩෝනියාව, මොන්ටෙනේග්‍රෝ යන රටවල සහභාගීත්වයෙන් ඇමෙරිකාව මෙම යෝජනාව ගෙනාවේය.
ශ්‍රී ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය හා විශේෂ කවුන්සිල කාර්යාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් විදේශ රටවල විනිශ්චයකාරවරුන්, නීතීඥයන් හා අධිකාරී ලත් අභිවෝදකයන් හා පරීක්ෂකයන් ඇතුළත් වීමේ වැදගත් බව එහි සඳහන් වෙයි.
කෙසේ වෙතත් 2015 වසරේ ජනවාරි මාසයෙන් පසුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම යෝජනාවේ පැසසුමට ලක්කොට තිබේ. 2015 වසරේ ජනවාරි මාසයෙන් පසු මානව හිමිකම් ආරක්ෂා කිරීමට, යහපාලනය හා ස්වාධීන ආයතන ශක්තිමත් කිරීමට ගත් ක්‍රියාමාර්ග, වංචාව, දූෂණය, වැරදි කළවුන්ට හා බලය අයුතු ලෙස භාවිත කළ අයුරු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම, උතුරු නැගෙනහිර සිවිල් පාලනයක් ඇති කිරීමට ගත් ක්‍රියාමාර්ග, උතුරු නැගෙනහිර ඉඩම් නැවත එහි හිමිකරුවන්ට ලබාදීම ඇතුළුව රජය ගත් යහපත් ක්‍රියාමාර්ග මෙහිදී අගය කොට තිබේ.
පසුගිය කාලසීමාවේ සිදු වූ ගැටලු නැවත ඇති නොවීම සඳහා කටයුතු කිරීමේදී නිදහස්, ස්වාධීන, විවෘත යාන්ත්‍රණයක් අවශ්‍ය බව යෝජනා කරන ඇමෙරිකාව ඒ සඳහා සෑම අංශයකින්ම නියේජනයක් ලැබෙන පරිදි පුද්ගලයන් ඇතුළත් කළ යුතු බව පවසයි. එසේම වැරදි සිදුකළවුන්ට එරෙහිව කටයුතු කිරිමේදී ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ අතීතයේදී ඇති වූ තත්ත්වයන් නැවත ඇති නොවන ලෙස කටයුතු කිරිමේදී එල්.එල්.ආර්.සී. වාර්තාවේ සඳහන් දෑ ක්‍රියාත්මක කිරීම, සත්‍ය සෙවීමේදී වගකීමෙන් ක්‍රියාකිරීම, යාන්ත්‍රණයන් සඳහා පුද්ගලයන් ඇතුළත් කිරීමේදී වින්දිතයන්, සිවිල් සමාජය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් වියයුතු බවත්, එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ යුතු බවත් එමගින් පවසා ඇත.
එසේම ශ්‍රී ලංකාවේ නීතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසත්, වඩා කාර්යක්ෂමව ආරක්ෂක අංශවල වෙනස් කිරීම් කරන ලෙසත්, ඒවායෙහි වෘත්තීයභාවය දියුණු කරන ලෙසත් අදාළ යෝජනාව නිර්දේශ කරයි.
මාධ්‍යවේදීන්ට කළ සියලු ආකාරයේ පහරදීම් පිළිබඳව සොයාබලන ලෙසද මෙකී යෝජනාව හරහා එම රටවල් ඉල්ලා සිටී.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින ලෙස හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ශ්‍රී ලංකාව වෙත දක්වන ලෙසත්, මෙම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව 32 වැනි සැසි වාරයේදී වාචිකව කරුණු දැක්වීමක් කරන ලෙසත් ඔවුහු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිති.
.