ඇමෙරිකා එක්සත් ජනපද පැසිපික් හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීම පිළිබඳ සිව්වැනි කණ්ඩායම (HMA) සිය සති දෙකේ පුහුණු වැඩසටහන අද (07දා) වව්නියාවේදී අවසන් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ‘පුහුණු කරන්නන් පුහුණු කිරීමේ’ මෙම කඩිනම් පුහුණු වැඩසටහන ජනවාරි 27 සිට පෙබරවාරි 07 වැනිදා දක්වා බූඔය යුද හමුදා කඳවුරේදී පවත්වා ඇති බව වැඩිදුරටත් පැවසෙයි.
මෙම කාලය අතරතුර ඇමෙරිකානු හමුදා කණ්ඩායමේ සිටි වෛද්‍ය, පශුවෛද්‍ය හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන් ශ්‍රී ලංකා හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය සමග එක්ව, බිම්බෝම්බ ඉවත් කිරීමේ නවකයන් පුහුණු කිරීමට හා දැනට බිම්බෝම්බ ඉවත් කිරීමේ නිතරවන්නන් යළි සහතික කිරීමට කටයුතු කර තිබුනේ යුද හමුදා ඉංජිනේරු බලකා අධ්‍යයන හා විෂය මාලාවේ කොටසක් ලෙසින් බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
2003 සිට 2013 දක්වා ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇ.ඩො.මිලියන 35.5 ක් (රු.බිලියන 4.64ක්) ලබාදී ඇති බව පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, ඊට අමතරව මේ වසරේදී බිම්බෝම්බ ඉවත්කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා ආම්පන්න ලබාදීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 2.7ක් (රු.මිලියන 353ක්) වැය කිරීමට සූදානමින් සිටින බවද නිවේදනය කරයි.