රජය ආරක්ෂා කරන අතර තමන්ට ජනතාව ආරක්ෂා කළ නොහැකි නම් තීරණයක් ගත යුතුව තිබෙන බවත්, රජයේ මෙවන් අමාත්‍ය ධුරයක් දැරීම ගැන ලැජ්ජා වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂ මූලස්ථානය වන දාරුසලාම්හිදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාව ආරක්ෂා කළ නොහැකි රජයක් සමග ඉදිරියටත් කටයුතු කරනවාද? නැද්ද යන්න පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන බවයි. එනිසාම තමන් විදේශීය රූපවාහිනී නාලිකාවකට පවා ප්‍රකාශ කළේ රජයේ මෙවන් අමාත්‍ය ධුරයක් දැරීම ගැන ලැජ්ජාවට පත්වන බව යැයිද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය පක්ෂයක් ලෙස නීතිපතිවරයාට ඉදිරිපත් කරනවා සේම, එයට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනුකරන බවත්, මේ පිළිබඳ විශේෂ කතාවක් අද (17දා) පාර්ලිමේන්තුවේදී සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
නිදුක් මධුෂික/ ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු