ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධුරය සම්බන්ධයෙන් ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ සහායට පැමිණ සිටි පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා පරස්පර අදහස් දැක්වූහ.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී මර්වින් සිල්වා මහතා සඳහන් කළේ තමා තවමත් කැලණිය ආසන සංවිධායක ධුරය හොබවන බවයි. සංවිධායක ධුරයෙන් කිසි විටෙකත් ඉල්ලා අස් නොවූ බව කී අමාත්‍යවරයා වැඩබලන සංවිධායකවරයෙක්ද නැතැයි කීය.
මෙම අවස්ථාවට පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ ඇතුළු කැලණිය ප්‍රා‘දේශීය සභාව හා පෑලියගොඩ නගර සභාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් කිහිපදෙනෙකු ද එක්වූ අතර, ඔවුහුද අමාත්‍යවරයාගේ අදහස අනුමත කළහ.
එහෙත් ටික වේලාවකින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු පෑලියගොඩ නගරාධිපති අමිල නිශාන්ත අදහස් දක්වමින් පසුගිය වසර 1 ½ ඇතුළත කැලණිය ආසනයේ වැඩබලමින් කටයුතු කළේ හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා බව ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ ආසන සංවිධායක ධුරයට මර්වින් සිල්වා හෝ ප්‍රසන්න රණතුංග යන කවුරැන් පත්වුවද පක්ෂයේ දියුණුවට ඔවුන් කටයුතු කළ යුතු බවයි.
මර්වින් සිල්වා මහතා පසුගිය වසර 1 ½ තුළ ආසනයෙන් ඉවත්ව සිටි බව කී නගරාධිපතිවරයා එම කාලය තුළ කැළණිය සංවර්ධනය ඇනහිට තිබූ බවද පැවසීය.
මර්වින් සිල්වා මහතා අසල සිටියදී එක ස්ථාවරයකද, අමාත්‍යවරයා නැගිට ගිය පසු තවත් ස්ථාවරයකද සිටීම පිළිබඳව මාධ්‍ය‘වේදීන් දිගින් දිගටම නගරාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළද, ඔහුගෙන් නිසි පිළිතුරක් ලැබුනේ නැත. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා පැවසුවේ කැලණිය ප්‍රා‘දේශීය සභාවේ මන්ත්‍රීවරැන් 4 ක්ද, පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරැ 6 දෙනෙකුද තමන්ට සහාය දක්වන බවයි.පසුගිය කාල සීමාවේ නිහඬව සිටියේ පොත්පත් කියවීමට කාලය ගතකිරීමට නිසා බවත්, ඒ තුළින් විශාල දැනුම් සම්භාරයක් ලබාගත් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
'මගේ කටවහගන්න කියලා ජනාධිපතිතුමා කිසිවෙලාවක කියලා නෑ. මට ඕන වෙලාවට කට අරිනවා. ඕන වෙලාවට වහගන්නවා. ඒකට කාගේවත් අවසර අවශ්‍ය නෑ' යැයි හෙතෙම කීය.
තමාගේ පුත් මාලක සිල්වා මහතා මේ මොහොතේදී දේශපාලනයට නොපැමිණියද අවශ්‍ය මොහොතේදී දේශපාලනයට පිවිසෙනු ඇතැයි ද මර්වින් සිල්වා මහතා පැවසීය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ