බලපත්ර නොමැතිව ළඟ තබාගෙන සිටි බව කියන ඇත්පැටවා ඔහුගේ හිමිකරුටම රුපියල් ලක්ෂ 50 ක බැඳුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහේස්ත්රාත් අධිකරණය එම ඇතා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
වනජීවී දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා වැයවන මුදල සැකකරුවන් විසින් දැරිය යුතු බවටද නියම කළේය.
අදාළ නඩුව විභාගයට ඉදිරිපත් කිරීම සඳහා ලොරි රථයක පටවාගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇත්පැටවා කොළඹ මහේස්ත්රාත් අධිකරණය අසලට ගෙනැවිත් තිබූ අතර, පැය ගණනාවක් මහමග ලොරි රථයට වී සිටීමට ඇත් පැටවාට සිදුවිය.
තවත් කුඩා රථයක දමාගෙන ආ පොල් අතු සහ කොළ එම ඇත් පැටවාට ලබාදෙන අයුරුද නිරීක්ෂණය විය.
ඡායාරූප දේවප්රිය