ආණ්ඩුවේ සිටියත් ආණ්ඩුවෙන් පිටත සිටියත් මූල්‍ය වංචා ඇතුළු අනෙකුත් සියලුම නීතිවිරෝධී කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
වංචා දූෂණ හෝ නීති විරෝධී වැඩකර ආණ්ඩුවට එක්වූවා කියා කිසිවෙකුටත් සමාව නොලැබෙන බවත්, රටේ පවතින නීතියට අනුව එම සියලුමදෙනාට දඬුවම් ලබා දෙන බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (21දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේදී සිදුවූ ඝාතන පිළිබඳව සොයා බැලීමට සහ දැනට ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස නම් වී තිබෙන ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනය සිදුවූ ආකාරය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවද පවසා සිටියේය.
මීට අමතරව දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙන සියලුම සිද්ධිවලට අදාළව නඩු පැවරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
නඩු පැවරීමට අමතරව එම කොමිසමට ලැබී ඇති පැමිණිලි ඉතාමත් කඩිනමින් විසඳා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් ද මේ වනවිට සකස් කර තිබෙන බවත්, එම කාරණයට අනුව එම කොමිසමේ වර්තමාන අධ්යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය.