වත්මන් ආණ්ඩුවට මුල අමතකවීමේ ග්‍රහයා උදාවේගෙන එන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. යහපාලන ආණ්ඩුව පරිහානියෙන් එළියට ගැනීමේ අවශ්‍යතාව මතුව තිබෙන බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ ආණ්ඩුව ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ඉටුකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ජාතික විද්වත් සංඝ සභාව කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ, “වත්මන් රජයට මුල අමතක වෙලා. වැනසීමට මුලයි මුල අමතකවීම කියලා අපේ ජනවහරේ පැහැදිලි කියමනක් තිබෙනවා.වැනසීමට මුලයි මුල අමතකවීම කියන සිද්ධාන්තය පසුගිය යුගවල පසුගිය දේශපාලඥයන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපි දැක්කා.අපට පේනවා දැන් මේ ආණ්ඩුවටත් මෙන්න මේ ග්‍රහයා උදාවේගෙන එනවා කියලා.
අපට ඕන ඒ උදාවූ ග්‍රහයාගේ කාර්යය ඉටුවෙන එක නෙමෙයි යහපාලන ආණ්ඩුව පරිහානියේ සහ විනාශයේ මුඛයෙන් එළියට ඇදලා අරන් අපේ බලාපොරොත්තු ඉටුකරගන්න.මේ රජය යහපාලන රජය වශයෙන් කිරුළු පැලඳගත්තට පස්සේ අපි හැමදෙනාම තුළම තිබූ බලාපොරොත්තුවේ පියුම් අද හෙමින් හෙමින් මැලවීගෙන යනවා.මේ රජය විනාශ වෙනවා කියන්නේ,මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය විනාශ වෙනවා කියන්නේ මේ රටම විනාශ වෙනවා කියන එක හැර කිසිවක් නෙමෙයි.
මේ මහා පෙරළියට ජීවිත පරිත්‍යාගයෙන් විද්වත් සංඝ සභාව ක්‍රියාකළ නිසා ඒ සම්බන්ධයෙන් කතාකිරීමට දැඩි මානසික අවශ්‍යතාවක්,වේදනාවක්,කැක්කුමක් අප තුළ තිබෙනවා. ඒ නිසා වත්මන් රජයට,ජනාධිපතිතුමාට,අගමැතිතුමාට,ඇමතිවරුන්ට,මන්ත්‍රීවරුන් ඇතුළු සියලු වගකිව යුත්තන්ට අපි කියනවා මුල අමතක කරන්න එපා.ඔබ ඇයි පැවැති රජය ඉවත් කරලා මෙතැනට ආවේ?පැවැති රජය ඉවත් කිරීමට බලපෑ ප්‍රධානතම කාරණය තමයි අපේ කන් අගුළු වැටෙනතාක්,අපේ කන් බිහිරිවෙනතාක්,අපේ කන්අඩි පැළෙන තාක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපට කිව්වේ අරුන් හොරු,ඒ හොරකම පරාජය කරන්න අපට ඡන්දේ දෙන්න කියලා.
අපි ඒක විශ්වාස කළා.අපේ කන්අඩි පැළෙනකම් රනිල් වික්‍රමසිංහ මහත්තයා,පාඨලී චම්පික රණවක ඇමතිතුමාලා,අනුර කුමාර දිසානායකලා කිව්වේ මේ මහා හොර රෙජිමය පරාජය කරන්න ඕන කියලා.ඒ මතය තුළ අපි හිටියේ රාජපක්ෂ මහත්තයා එක්ක හෝඒ කවුරුවත් සමග තිබුණු පෞද්ගලික අමනාපයක් නිසා නෙමෙයි.මේ රට ගැන,රටේ සාමාන්‍ය ජනතාව ගැන තියෙන ආදරය සහ කරුණාව නිසා තමයි මහාසංඝයා වහන්සේ ඒ කාර්යයට ඉදිරිපත් වුණේ" යනුවෙන් පවසා සිටියහ.