ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා ඊයේ (11දා) දිනයේදීත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ බැඳුම්කර නිකුත් කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
අගෝස්තු මාසය වනවිට රට ලබාගත් ණය වාරික ගෙවීමට හා අයවැය පරතරය පියවාගැනීමට මුදල් සොයාගත යුතු බවත්, මේවා මතක් වනවිට ආණ්ඩුවේ කකුල් දෙක වෙවුලමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට පරණ පව් සහ අලුත් පව් වශයෙන් පවු දෙකකට කර ගැසීමට සිදුව තිබෙන බවයි.
ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මින් මිදීම සඳහා බැඳුම්කර නිකුත් කරමින් සහ ජනතාවට බදු ගසමින් සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.
2015 වසරේ මැයි මාසයේදී ගිණුම් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට අනුව 2013 වසරේ ආදායම් බදු ගැන සඳහන් වී තිබෙන බවත්, එහිදී එම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළදී රුපියල් බිලියන 232 ක ආදායම් බදු එකතු කරගැනීමට නොහැකි වී තිබෙන බවට පෙන්වා දී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහෙත් ජනතාවගෙන් රුධිර පීඩනය මැනීමෙන්, මුත්‍රා පරීක්ෂාවෙන්, දුරකථන පෙරගෙවුම් කාඩ්පතෙන් බදු අය කරගන්නා ආණ්ඩුවට මෙම බදු මුදල අය කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයිදැයි යන්න ප්‍ර‘ශ්නයක් බවද ඒ මහතා පවසා සිටියේය.
රාජපක්ෂ පාලන සමයේදී විශාල ව්‍යාපෘති මගින් රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කළ බවත්, වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් රාජ්‍ය ආයතනවලට තමන්ගේ ඥාතීන් පුරවා මුදල් නාස්ති කර දමන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂය තම පාලන කාලයේදී රටේ නීතිරීති වෙනස් කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැළපෙන ආකාරයට ඒවා සකස් කර ගැනීමට උත්සාහ කළ බවත්, එහෙත් එම අවස්ථාවේදී ඇති වූ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට එම දේවල් අත්හැරීමට සිදු වූ බවත් හෙතෙම පවසා සිටියේය.
ඒ අවස්ථාවේ නැගුණු විරෝධතා හමුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූ බවත්, එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක වන මෛත්‍රී - රනිල් හවුල් පාලනයද එම පැරණි ක්රමයම ක්‍රියාත්මක කරමින් යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.