අවම භෞතික සම්පතින් ජීවත් වීමට හුරුවන්න - පාප් වහන්සේ UN අමතති
භෞතික අත්පත් කරගැනීම්වලට හා බලයට ඇති දැඩි ලෝභය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැඩිව හෙළා දැක තිබේ.
මෙම අධික කෑදරකම හේතුවෙන් ලෝකයේ සම්පත් වේගයෙන් විනාශ වෙමින් පවතින බවත්, දිළිඳුබව ඉහවහා ගොස් ඇති බවත් පාප් තුමන් අවධාරණය කරති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිය ප්‍රථම සංචාරය සිදුකරන ෆ්‍රැන්සිස් පාප් තුමන් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් නුවර ජගත් මූලස්ථානයේදී එහි 70 වැනි සැසිවාරය වෙනුවෙන් විශේෂ දේශනයකට එක්වෙමින් මෙම අදහස් පළ කළහ. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ පාප් තුමන්,
"ආත්මාර්ථය හා භෞතික සෞභාග්‍ය සඳහා වූ සීමාවකින් තොර පිපාසය දැනට පෘථිවි තලයේ ඉතිරිව පවතින ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය වීමටත්, දිළින්ඳන් හා වරප්‍රසාද අහිමි වූවන් බැහැරවීමටත් හේතු වී තිබෙනවා" යැයි පැවසූහ.
ඒ අනුව, තම රටවල ජනතාව අවම භෞතික සම්පත් භාවිතයක් වෙත පුරුදු කරන ලෙස පාප් තුමන් ලෝක නායකයන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම, පරිසරය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන්ද අවධාරණය කළ පාප් තුමන්, මහා පරිමාණයෙන් ජෛවවිවිධත්වය විනාශ වන බවත්, දැවැන්ත පාරිසරික අර්බුධයක් මතුව තිබෙන බවත් පෙන්වා දුන්හ.
මීට අමතරව, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් බිහි කිරීමේ අවශ්‍යතාවද මතු කළ පාප් තුමන් දේශපාලන හොඳ හිත මත සාමයෙන් කටයුතු කරන ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඒ ඒ රටවල තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට පියවර ගත යුතු බවත්, ඔවුන්ට පීඩා නොදෙන ආකාරයේ ණය ලබාදීමේ පද්ධති සකස් කළ යුතු බවත් පාප් තුමන් අවධාරණය කළහ.
70 වැනි සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර මහා මණ්ඩල සැසිවාරය සඳහා එම සංවිධාන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය නායක පිරිස සහභාගි වී ඇති බවද විශ්වාස කෙරෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

