ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී අද (03දා) උදෑසන උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමග ඇරඹුණු බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය පුරාණ චාරිත්රයකි. ඈත අතීතයේදී ජනීජනයා තමන් වෙත අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වෙත අස්වැන්නේ ප්‍රථම කොටස පූජා කිරීම සිරිතක් වශයෙන් කරගෙන ආ අතර, එය සංකේතවත් කරමින් වර්තමානයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වාර්ෂිකව අලුත් සහල් මංගල්‍ය පැවැත්වේ. නිසි කලට වර්ෂාව ලබාගැනීම, කන්නය සාර්ථකව පවත්වා ගැනීම, සහලින් රට ස්වයංපෝෂිතවීම යනාදී කරුණු රැසක් ඉටුකර ගැනීමට අලුත් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳු පුදන ගොවියෝ ප්‍රාර්ථනා කරති.
අනතුරුව ජය ශ්‍රී මහා සමිඳු අබියස වැලි මළුවේ උඩු වියනින් සහ පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර තිබූ පාත්‍රයට ප්‍රථම සහල් මිට දමන ලද්දේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ අමාත්‍ය එස්.එම්.චන්ද්‍ර‘සේන මහතා ප්රමුඛ ගොවි මහතුන් විසිනි.
අනතුරුව උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා පාත්‍රයට සහල් දැමීමට එක්වූ අතර, ඔහු ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදාගෙන ආශීර්වාදද ලබාගත්තේය.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය