වනඅලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් රුපියල් ලක්ෂ 02 සිට ලක්ෂ 05 දක්වා වැඩි කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ වනඅලි ප්‍රහාරවලින් මිය යන අයෙකු වෙනුවෙන් පෙර ලබාදුන් රුපියල් ලක්ෂයක වන්දි මුදල රුපියල් ලක්ෂ 02 දක්වා වැඩි කිරීමට පසුගිය වසරේදී හැකි වූ බවයි. එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු විගස වන්දි මුදල ලක්ෂ 05 දක්වා වැඩි කර ක්‍රියාත්මක කරන බවද ඇය සඳහන් කළාය.
“මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වනඅලි තර්ජන වැළැක්වීම සඳහා පසුගිය කාලය තුළදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අබලන්ව තිබෙන ආරක්ෂිත විදුලි වැටවල් කඩිනමින් අලුත්වැඩියා කිරීම, සත්ත්ව මිනිස් සංහිඳියාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇතුළු වැඩසටහන් ඊට ඇතුළත් වෙනවා.
වනඅලි ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි සිදුවූ විට, නිවාසවලට හානි සිදුවූ විට වන්දි ලබාදීමේ කටයුතුවලදී යම් ප්‍රමාදයන් සිදුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමතිතුමාගේත්, මගේත් විශේෂ අවධානය යොමු වුණා.
වන්දි ලබාගැනීමේ කටයුතු පහසුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් එම වන්දි මුදල් ලබාගත හැකියි.
ඒ සඳහා අදාළ පිරිස් දැනුවත් කිරීමට වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ දැනට වැඩ ආරම්භ කර තිබෙන ආරක්ෂිත විදුලි වැටවල් ඉදි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුයි* යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.